Breaking

ගුරුවරිය දණගැස්වූ තාත්තගෙ පුතත් උසාවියට

නවගත්තේගම නගරයේදී තරුණයෙකුට පහරදීම හේතුවෙන් අත්අඩංගුවට ගත් ආණමඩුව ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක ආනන්ද සරත් කුමාර මහතාගේ පුතා සහ තවත් තරුණයෙකු රුපියල් ලක්ෂ 02 ක් බැගින් වූ ශරීර ඇප මත මුදා හරින ලෙස ආණමඩුව මහේස්ත්‍රාත් ජනනි එස්.විජේතුංග මහත්මිය නියම කළාය.

මෙසේ ඇප මත අධිකරණය විසින් මුදා හැර ඇත්තේ නවගත්තේගම පදිංචිකරුවන් වන අයේෂ් ශානක කුමාර සහ තරංග මධුශංක යන දෙදෙනායි. පසුගිය 10 වැනිදා නවගත්තේගම ඉන්ධන පිරවුම් හල අසලදී ඇතිවූ ගැටුමකදී මොවුන් නවගත්තේගම පදිංචිකරුවෙකු වන විද්‍යාපති මුත්තලාගේ බුද්ධික ශාලිත බණ්ඩාර සුභසිංහ (අවු - 19 ) යන අයට පහරදී ඇත.

පහර කෑමෙන් පසු නවගත්තේගම ප්‍රාදේශීය රෝහලට ප්‍රතිකාර සදහා ඇතුළත් වී ඇති ඔහු අනතුරුව සිය කැමැත්තෙන් එම රෝහලෙන් පිටත්ව ගොස් ප්‍රතිකාර සදහා කුරුණෑගල ශීක්ෂණ රෝහලට ඇතුළත් වී ඇත. පහර කෑමට ලක්ව ඇති තරුණයා සහ සිද්ධියට සම්බන්ධ අනෙකුත් තරුණයින් දෙදෙනා අතර පෙර අමනාපයක් තිබී ඇති බවත් මෙම සිද්ධියට හේතුව වී ඇත්තේ එය බවත් පොලීසිය පවසයි.

මීට පෙර මෙම තරුණයාගේ පියා වන ආනන්ද සරත් කුමාර මහතා ද ප්‍රදේශයේ පාසල් ගුරුවරියක දණ ගැස්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනයක් ඇති කළේය. නවගත්තේගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නවීන් ඉන්ද්‍රජිත් දයානන්ද මහතා ඇතුළු නිලධාරීන් වැඩිදුර විමර්ශණ කටයුතු කරයි.

ජුඩ් සමන්ත - පුත්තලම වාර්තාකරු

No comments:

Powered by Blogger.