Breaking

16 කණ්ඩායමේ 7කගේ ආසන සංවිධායක ධූර අහිමි වේ

අමාත්‍ය ධුරවලින් ඉවත්වී විපක්ෂයේ අසුන් ගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත්, අනුර ප්‍රියදර්ශන යාපා, ජෝන් සෙනෙවිරත්න, චන්දිම වීරක්කොඩි, ටී.බී. ඒකනායක, ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ තාරානාත් බස්නායක යන අයගේ ආසන සංවිධායක ධුර වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට යන බවට ශ්‍රීලනිප මූලස්ථාන ආරංචිමාර්ග හෙළි කළේය.

මෙම මන්ත්‍රි පිරිස අතර පක්ෂයේ ජේ‍යෂ්ඨ උප සභාපතිවරුන් තිදෙනකු සිටීම මෙහි ඇති විශේෂත්වයයි. පක්ෂයේ සංවත්සරයට සහ මහ සමුළුවට පෙර බල මණ්ඩල රැස්වීම පවත්වා අවසන් කරන ලෙසට දන්වා තිබියදී ඔවුන් ඊයේ (22දා) වනතුරුත් ඒවා නොපැවැත්වීම හෝ ඉදිරි කාලය තුළ පවත්වන බවට හෝ කිසිදු දැනුම්දීමක් කර නොමැති බවද අප කළ විමසුමකදී අදාළ ආරංචිමාර්ග කියා සිටියේය.

එම නිසා අදාළ ආසනවල සංවිධාන කටයුතු දුර්වල මට්ටමක පවතින බැවින් නව ආසන සංවිධායකවරුන් පත් කිරීමට නියමිත බවද වාර්තා වේ. ආසනවල සංවිධායක කටයුතු දුර්වල නම් හා ඒ සඳහා පත් කිරීමට සුදුසු අය වේ නම් ඒ පිළිබඳව කරුණු දක්වන ලෙසට ශ්‍රී ලනිප දිස්ත්‍රික් සංවිධායකවරුන් හට දැනුම්දී තිබෙන බවද වාර්තා වේ.

කෙසේ වෙතත් ඇමැති තනතුරු අත්හැර විපක්ෂයේ අසුන් ගත් මන්ත්‍රිවරුන් අතරින් සුමේධා ජයසේන, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ සහ තිලංග සුමතිපාල යන අය ඉදිරි සතිය තුළ බල මණ්ඩල රැස්වීම් පවත්වන බවට දැනුම් දී ඇතැයි පක්ෂයේ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පැවැසීය.

ඊට අමතරව එස්.බී. දිසානායක, ඩිලාන් පෙරේරා, ලක්ෂ්මන් වසන්ත පෙරේරා, අනුරාධ ජයරත්න සහ දයාසිරි ජයසේකර යන මන්ත්‍රිවරුන් ආසන බල මණ්ඩල පිහිටුවා ඇති බව දැනුම් දී ඇතැයිද මහ ලේකම්වරයා කීවේය. සුසන්ත පුංචි නිලමේ මන්ත්‍රිවරයාද බල මණ්ඩල පිහිටුවා නොමැති වීම නිසා ඔහුගේ ආසන සංවිධායක තනතුර ඉවත් කිරීමට පසුගියදා පියවර ගැනුණි.

කෙසේ වෙතත් ඉවත් නොකරන ආසන සංවිධායක තනතුරුවලට සංවිධායනයකින් පත්කිරීම සඳහා වන කමිටුව අද (23දා) පක්ෂ මූලස්ථානයේදී රැස්වීමට නියමිතය.

No comments:

Powered by Blogger.